29 February, 2012

ආබාධිතයින්ට අපි සලකන හැටි



මේ ඡායාරෑපය ඒ තරම් පැහැදිලි නෑ. 

ඔය පත්තර වලින් වහල තියෙන්නෙ මියගිය මනුස්සය. මැද පෙරලිලා තියෙන්නෙ ඒ මනුස්සය ආපු බයිසිකලේ. ඔය පැත්තක තියෙන්නෙ හප්පපු ට්‍රක් එක.

කඩුවෙල හංදිය මැද්දෙදි අද දවල් අප විසින් ආබාධිතයෙකුට සලකපු හැටි තමයි ඔය.

අපි කියල කිව්වෙ වේගයෙන් යන්න හදන අපි හැමෝටම වට පිට හුඟක් දේවල් නොපෙනෙන නිසායි.


ට්‍රක් රථ රියදුරාට පමනක් වරද පටවා නිහඬවීමට අපට හැකිද?

28 February, 2012

ජේ.ආර්., රජීව් හක්කේ තබා සෙම ඇරිය හැටි.




රෑ දොළහට දැකපු හොල්මනේ ඉතුරැ ටික දාන්නත් තියෙනව. ඒත් දේශප්‍රේමය දෝරෙ ගලන වෙලාවෙ අපේ පොඩි මාමගෙ දේශද්‍රෝහී කථාවක් ගැන මතක් උන නිසා මේක ඉස්සල්ල දාන්න හිතුන.

ඔය මත්වෙන්න බොන පාන වර්ගවල පැනි රස, තිත්ත රස, ඇඹුල් රස, ලුනු රස වගේ 
එක එක රස තියෙනව ෙන. අපේ පොඩි මාම හැම දාම හවසට බොන්නෙ මේ පැනි රස අරක්කු.

ඉතිං මාම  බිව්වහම නිකන් ඉන්නවටත් වඩා හොඳයි. වලි, බලි මුකුත් නෑ. අයිස් ක්‍රීම්,ටොපි, චොක්ලට්, ඇපල්,මිදි, අරව මේව ඉල්ලන පරක්කුවෙන් ලැබෙනව. පොඩි උන් එක්ක සෙල්ලන් කරනව.  ඉඳල හිටල නැන්ද පොඩි සද්දයක් දැම්මත් අනේ ඉතිං පොඩ්ඩක් බිව්වට අපෙන් කාටවත් කරදරයක් නෑනෙ සුදූ කියල නැන්දගෙ නිකට මිරිකන කොට නැන්ද ගස්සල ඔරවන ඔරවිල්ලට මාමයි අපියි ඔක්කොම හූ කිය කියා හිනාඋන හැටි අදටත් හොඳට මතකයි. 

මේ සේරටම වැඩිය මාමගෙ අගේ  වැඩි උනේ ටිකක් අපි කර දඬු උස්මහත් වෙනකොට. අපට සමහර උවමනාවන් ඇති වෙනවනේ ගෙදරට කියල සල්ලි ඉල්ලන්න බැරි. ඔය ට්‍රිප් යන්න, සෙට් වෙන්න ... ඔය තව තව ඒව. ඉතිං අපි කරන්නෙ මාම හොඳට දාල ඉන්න වෙලාවට කිට්ටු වෙලා බටර් පාරක් ගාල කීයක් හරි කඩා ගන්න එක. හොඳම දේ පස්සෙන්දට මාමට මේ කිසි දෙයක් මතක නැති එක.

හොඳයි දැන් කථාවට බහිමුකෝ.

87/88 කාලෙ ජේ.ආර්. සීය රජීව් මහප්පත් එක්ක ගිවිසුමක් ගහල ඉන්දියන් වඳුරැ හමුදාවක් ලංකාවට ගොඩ බස්සන්න ලෑස්ති වෙන කොට මෙහේ හිටපු දේශප්‍රෙමීන් හොඳටම රත් වෙන්න උනා. ලංකාව ඉන්දිාවෙ ප්‍රන්තයක් කරගන්න යනව කියල. අපි එත ෙකාට දැරිවියො ඉල්ලන්න ලැජ්ජයි, ලැජ්ජයි , බයයි වගේ කාලෙ. ඉතිං දැරිවියො ඉල්ලන් ඇවිත් ඉන්න රටක් ඕන නිසා අපිත් දේශප්‍රෙමීන් වෙලා හිටියෙ.

ඔන්න එක දවසක් අපි ඉස්කෝලෙ යාලුවො නඩේ කාමරේ හෙන සාකච්ඡාවක්. මාතෘකාව රට,ජාතිය,ආගම. අපේ පොඩි මාමත් අර පැනි රස අරක්කු  ටිකක් කාරිය බීල ගේ ලඟින් යන වෙලාවෙ අපේ කථාව ඇහිලද කොහේදෝ කාමරේට ඔලුව දැම්ම.

කට්ටිය මොකක් ගැනද මේ කථාව

දේශප්‍රෙමෙන් ඔදවැඩුනු අපේ ගොයියොත් දැන් ඉන්දියාව හක්කෙ තියල සෙම අරින්න කථාව. ජේ. ආර්. , රජීව් එහෙම ලඟ හිටියනම් සියලු දෙවි දේවතාවුන්ගෙ පිහිට තමා. මාමත් හූ මිටි තිය තියා කථාව අහගෙන ඉන්නව. ( 60000 මැරැනෙ ඊට අවුරැදු දෙකකට විතර පස්සෙ නිසා මේ කාලෙ අපට මරණ බය මොකක්ද කියල තේරැනේ නෑ)

හොඳයි දැන් ඉන්දියාව ලංකාව යටත් කර ගත්තොත් අපට මොනව වෙයිද? මාම ඇහුවෙ බබා තාලෙන්.

මොකක් වෙන්නද ඉතිං . ඉන්දියාව කියන දේ අහගෙන ඉන්න වෙයි අපේ ගෝඨය පඬිය වගේ කිව්ව.

අපි දැන් අහගෙන ඉන්නෙ කවුරැ කියන කථාද

ජේ. ආර් කියන කථානෙ

ඉතිං ජේ. ආර්.රැත් දේශද්‍රෝහිය නම් රජීව්ත් දේශද්‍රෝහියොනම්  ඉන්දියාවට යටත් උනත් නැතත් අපට දේශද්‍රෝහීන් කියන විදියට නේද ඉන්න වෙන්නෙ මාම කිව්වෙ නක්කලේට හිනාවකකුත් දාගෙන. අපි දැන් මොනව කියන්නද කියල හිතාගන්න බැරැව මාම දිහා බලාගෙන ඉන්නව.

සිංහලය ලංකාවට ආවෙත් ඉන්දියාවෙන් නම් බුද්ධාගම ආවෙත් ඉන්දියාවෙන් නම් මේක ඉන්දියන් කාරයො අල්ලගෙන හුඟක් කල් නෙවැ

හැබැයි ඉන්දියා‍ෙව බඩු මිලනම් මීට වඩා හුඟක් අඩුයි  මාම අර හිනාවම දාගෙන යන්න නැගිට්ට.

හැබැයි මට අදටත් හිතාගන්න බෑ මාම මේ කථා කරේ සීරියස්ද, ජෝක් එකටද කියල.

ප/ලි
මේ දේශදෝහී අදහස් මාමගෙ මිසක් මගේ හෙම නෙමේ ඕං. මම එදත් අදත් දේශප්‍රේමීයෙක්මි.

ප/ලි
හිච්චි  මාමගෙ තව කථා සීරීස් එකක්ම තියෙනව.
*මාම කතරගම දෙවියො එක්ක දා ගත්ත වලිය
*ආන්ඩුවෙන් පිස්සු ලයිසන් එක ගත්තු හැටි

ඉඩ තියෙන හැටියට ලියන්නම්


26 February, 2012

රෑ දොළහට දැකපු හොල්මන



ඩෙස්මන්ඩ් මොරිස්ද කොහේදෝ කියල තිබුනා හවසට හවසට පිරිමි පිරිමි සෙට්වෙන පුරැද්ද දඩයම් යුගයෙ න්‍යස්ඨාවශේෂයක්ලු. පිරිමි පිරිමි එකතුවෙලා දැන් සත්තු දඩයම් කරන්න බැරි නිසා බෝතලයන් හරි දඩයම් කරනවලු.

ඔන්න චමියත්  දඩයමකට සෙට් උනා. මූඩි ගැලඋනා. වීදුරැ සද්ද උනා. අඩිය මතුඋනා. ඔන්න එතකොට තමයි ගෙදරක් තියෙනව කියල මතක් උනේ.

වජිර කියල මගේ යාලුවෙකුයි මායි පදුරක් අස්සෙ තිබුන පුෂ් බයිසිකල් කට්ටත් එලියට අරගෙන පිටත්උනා ගෙදර යන්න අපට යන්න තියෙන්නෙ තේ වතු යායක් මැද්දෙන්. ගෙයක් දොරක් පැත්ත පලාතක නෑ. ලාවට හද පායල නිසා පාරනම් යන්තන් පේනව. වජිර පදිනව. මම පොල්ල උඩ.

හැතැක්මක් විතර දුර කදු පල්ලම් පහුකරගෙන අපි ආව. ඇඟට වැදෙන සීතල සුළං පාරට ඇස් දෙකත් එක්කම ඔලුවත් බිමට පාත් වෙනව. ඒත් ඉතිං මේ බයිසිකලේ උඩ නිදාගන්නයැ.

දැන් පල්ලම ඉවරයි. මෙතන ඉඳල තියෙන්නෙ පාපන්ඳු පිට්ටනි දෙක තුනක් විතර විසාල හිස් බිමක්. තේ වත්ත මැද තිබුනු පොඩි කඳු ගැටයක් , ගිං ගඟ ව්‍යාපාරෙ වේලි බඳින්න පස් ගන්න කපාපු තැනක්. කඳු ගැටේ මැද අධි ධාරිතා විදුලි රැහැන් එලලා තිබුනු විශාල විදුලි කණුවක් තිබුනු නිසා එතන විතරක් ඉතුරැකරල තිබුනා. හඳ එලියෙ මෙතන හොඳට පැහැදිලිව පෙනුනා.  මේ පල්ලමත් එක්කම අපි ආපු පාර දෙකට බෙදෙනව. අපි යන්න ඕන දකුනට.

දකුණට හරවන ගමන්ම මට නිකමට වම් පැත්ත බැලුන. දැකක දෙයින් පියවෙම්න් තිබුනු මගේ ඇස් දෙක දොඹ ගෙඩි දෙකක් විතර ‍ෙලාකුවුනු බවනම් මටත් තේරැනා. ඇහි පිය ගහල ආයෙත් බැලුවෙ මට වෙරිද කියල ෂුවර් නැති නිසා.

හත්ඉලව්වෙ, සුදු දිග ගවුමක් ඇඳගෙන කෙස්ස කඩා දමාගත්ත ගෑනියෙක් පිට්ටනිය ඈත කොනේ හිටගෙන ඉන්නව. කිට්ටුව පෙනෙන තෙක්මානෙක ගෙයක් දොරක් නෑ. අනික දැන් වෙලාවත් දොලහට කිට්ටුයි.

වජිරෙ, වජිරො පොඩ්ඩක් අර පැත්ත බාලාපං මම වජිරයට කිව්වෙ තාමත් මට මේක ඇත්තටම දකිනවද කියල ෂුවර් නැති නිසාමයි.

වජිර ඒ පැත්ත බලන්න ඔලුව හැරෙව්ව විතරයි ලොක් උනා වගේ ඔලුව එහෙම්ම නතර උනා. හඳ එලියට මට පේනව ටොම් බෝල දෙකක් වගේ ඇස්දෙක දිලිසෙනව. බයිසිකලේ වැනෙන හැටියට මට තේරැනා අතපයත් කඩාගන්න වෙන බව. ඒයි ඒයි කියල වජිරයගෙ කකුලටත් ගහගෙන  බ්රේක් එක හිරකරගෙන මම බයිසිකලෙන් පැන ගත්ත.

දැන් අපි දෙන්නටම කතා කරගන්නවත් බෑ. මම ඔය හොල්මන් අරව මේව විස්වාස නොකරත් මේ ඇස් දෙකට පේන දේ විස්වාස නොකර කොහොමද? රෑ දොළහට මේ වගේ පාලු තැනක ගෑනියෙක් තියා පිරිමියෙක්වත් ඉන්න විදියක් නෑ .

මමචං මෝහිනීද කොහේද

වජිරය වෙව්ල වෙව්ල කියන්නේ ඇස් දෙක අහකට ගන්නෙවත් නැතුව.

මෝහිනී ලඟ ළමයෙකුත් ඉන්නවනේ

මම කිව්වෙ මොනව හරි කියන්න ඕන හින්ද. මේ හොල්මන ඉන්නෙ අපි ඉන්න තැනට මීටර දෙතුන් සීයක් විතර ඈත අනිත් පැත්ත බලාගෙන. හොල්මන් කියල දෙයක් නැති බව මම හිතට ඒත්තු ගන්නන්න හදනව. එහෙනම්  ලඟට ගිහින් බලන්න ඕන කියල. ඒත් හිතේ බය අනික් පැත්තට අදිනව.

ගිහිල්ල බලමුද වජිරො මම කිව්වෙ දෙගිඩියාවෙන්.

පිස්සුද බං කලබල කාලෙ කෙල්ලො වගයක් මරල දාල තිබුනෙත් ඔතනමයි වජිරය කථාකරන තාලෙන් තේරැනේ මිනිහ හැබෑවටම බයවෙලා බව. මිනිහ හුස්ම ගන්න සද්දෙත් මට ඇහෙනව.

එහෙනන් අපි කථා කරල අහමුද මම ඇහුවෙ ඒක වඩාත් ආරාක්ෂාකාරී නිසා.

එපා.. එපා

ඒත් ඒක වජිර කියනකොට මම කෑ ගහල ඉවරයි.

ඒයි කවුද ඔය මම සද්දෙ ටිකක් වැඩි කරල  ගොරෝසු හඬින් ඇහුව.

හුඋඋඋඋඋ

හොල්මන එක පාරටම උගුර යටින් හූ හඬක් තියාගෙනම අපේ පැත්තට හැරැන.  ඇහුන සද්දෙනම් මනුෂ්‍යය හඬක් නෙමේ. ම‍ගේ ඇඟ සීත වෙලා ගියේ මයිලුත් කෙලින් වෙලා. වජිරය දිහා බැලුවම දැක්කෙ මිනිහට සිහිය නැතිවෙන තරමයි.

තවත් මෙතන ටැග්ගැහෙන්න බැරි බව මට තේරැනා. එහෙම්ම බයිසිකලේ කෙලින් කරල නැග ගත්තු මම වජිරයව ඇදල අරගෙන පොල්ලෙ තියාගෙන තියෙන මුළු හයියම දාල පදින්න පටන් ගත්තෙ වට පිටවත් බලන්නෙ නැතුව.



ප/ලි

මේක තවත් ගොඩක් දිගයි. ඒක හින්ද තව පෝස්ට් එකක් හැටියට දාන්නම්.







23 February, 2012

මහස්වෙතා දේවිගේ හැට්ටය ඇතුළේ























පසුගිය අවුරැද්දෙ පැන නැගුණු බරපතලම ජාතික ගැටලුව වූයේ මොනවද තියෙන්නෙ යන ප්‍රශ්නයයි. ඔව්, කිසියම් ප්‍රශ්නයක් නැෂනල් ඉෂූ එකක් වන විට ඒ කාලය තුළ පැන නගින අනෙකුත් ඕනෑම හත්ඉලව්වක් නොන් ඉෂූ එකකි. උදාහරයක් වශයෙන් කිව්වොත්න් බෝග විනාශය, භූමිකම්පාව, ඊනියා ත්‍රස්තවාදය හා රාජ්‍ය බලය අතර ඇතිවන ගැටුම් වලින් පසු හැම තැනම වාගේ සිදු කෙරන ම්නී මැරැම් , කුල ගෝත්‍රයෙන් පිට විවාහ වීමේ වරදට හරියානාවේ තරැණයකුගේ හා තරැණියකගේ හිස ගසා දැමීම , මේධා පත්කර්ගේ හා නර්මදා වේල්ල අවට පදිංචි උදවියගේ අසාධාරණ ඉල්ලීම්, රටේ සාමාන්‍ය නීතිය හමුවට හැමදාම වාගේ පමුනුවන එහෙත් පුවත්පත්වලින් ප්‍රසිද්දිය නොදෙන සිය දහස් ගණන් ස්ත්‍රී දූෂණ හා මිනී මැරීම් , ලොකප් කිරීම්, වධදීම් යනාදී හැමෙකක්ම නොන් ඉෂූස්ය. ඒ වගේම ඒවා නොන් ඉෂූස් හැටියට හැමදාම පවත්න්නේය. මේ හැමෙකකටම වාගේ වැදගත්ම ඉෂූ එක වූයේ චෝලි කේ පිච්හෙය- හැට්ටය ඇතුළේය.

ඒවාගේ ඉෂූස් හේතු කොටගෙන ජාතියේ එදිනෙදා කාරණා කටයුතු තුළ නොන් ඉෂූස් පෑගී යටවී තැලී පොඩිවී යන්නේය. මොනවද තියෙන්නෙ යන කාරණය ඉතාමත් වැදගත් වී ඇත්තේ ඒ හන්දාය. ඉන්දියාවේ ජීවය මහා නින්දකට වැටී තිබෙනවා පමනක් නොව ඕනෑ වේලාවට අවදි වන්නට ඊට පිළිවන් බවත් සනාථ කරන හොඳම සාක්ෂියයි ඒ.

ඒ අනුව හැට්ටය ඇතුලෙ තියෙන්නෙ මොනවද කියා සොයා බලන්නට හැමදෙනාම උත්සුක වූහ.
ජාතික ජනමාධ්‍ය, වාරණ මංඩලය, විමුක්තිය ලැබූ තනපට විරොධී කෙල්ලෝ, රාජ්‍ය මටිටමින් ක්‍රියාත්මක වන සංගම් සංවිධාන, කේබල් රෑපවාහිනී නාළිකා, කොළ පාටින් ඇසි පිහාටු පාට කරගත් කාන්තාවන්ගෙන් සමන්විත වනිතා සමාජ, සියලුම ආගමික කණ්ඩායම්, දේශපාලනඥයෝ මෙකී නොකී හැම දෙනෙක්ම උත්සුක වූහ. ඒ අනුව හැංගි  හොරා බල්නායක් කැසට් පට නැරඹීම දවසේ කාර්ය්‍ය බවට පත්විය.

මුලුමහත් ජාතියම මේ සංකල්පය ගැනම සිතමින් කල් යවන බව දැනගත් විටයි ජාතියේ මිතුරෝ බොම්බාය හා කල්කටාව දෙවනත් කරන්නට පටන් ගත්තෙ. ජාතියේ සිහි කැඳවීමට  ඔවුන් ගත් ප්‍රයත්නයේ ප්‍රථිපල වශයෙන් හැට්ටය ඇතුළෙ තියෙන්නේ මැද පෙරදිග යැයි ඉන්දියාව එකවරම සොයා ගත්තාය. මේ සොයා ගැනීම තවත් බරපතල  පිපුරැමකට හේතු භූත විය. මන්දයත් හැට්ට ගැලවීමත් ඇන්දවීමත් ඒ සමගම සිදුවන අනෙකුත් ආටක නාටකත් සහ මුලින්ම නියාමනය කරන්නේ මැ පෙරදිග බව හිටි හැටියේම දැන ගැනීම නිසා තවත් මහා අට්ටාලයක් පුපුරා ඇද හැළිණ.මේ හෙලි දරව්වෙන් වඩාත් අමාරැවට පත්වූයේ බොම්බායේ නිපදවන චිත්‍රපට වූ කලි අන් කිසිවක් නොව ඉන්දීය ජනප්‍රිය සංස්කෟතිය නියෝජනය කරන ඉන්දීය සංස්කෟතික මාධ්‍යය බැව් කියම්න් ඉන්දීය තරැණ පරම්පරාවේ බුද්ධි මංඩලයට පනිවුඩ නිකුත් කරමින් සිටි ඒ බලගතු කුලකයයි. ඒ කුලකයට විරැද්ධ කුලකයේ ( සාමාජික සංඛ්‍යාව අතේ ඇඟිලි ගණනයටය) නායකයා ( සම්මන්ත්‍රණවලට ආරාධනා ලැබෙනවානම් පස්වනත් ප්‍රිතියෙන් පිනායන ගරැ තටයුතු ඒ නායකයා) කඩි මුඩියේ පත්‍රිකාවක් මුද්‍රණය කොට සෑම පුවත්පතක් ඇතුලටම දමා විසුරැවා හැරියේය. බොම්බායේ නිපදවන චිත්‍රපටවලට පදනම් වන දළ සේයා පටවල දිග ප්‍රමානය ගත්විට ඒවා ලෝක ගෝලය වටේ ඔතා කාටවත් ලිහන්නට බැරිවන තාලේ ගැටයක් ගසන්නට පුඏවන් බව එම පත්‍රිකාව හෙළිදරව් කළේය. බොම්බායෙ චිත්‍රපටි වූ කලි අන් කිසිවක් නොව දුරස්ථ පාලකයක් මගින් සමස්ත ඉන්දීය ජනතාවටම අඩන්නට ස්නාසෙන්නට උගන්වන තවත් ජාතික රා්‍යයක් බව වැඩි දුරටත් එම පත්‍රිකාවේ දැක්විණ.

මේ ප්‍රවෘතිය කියවූ පිස්සු හරිපාද ටාට බිල්ඩිමේ වහළට නැගී ආක්‍රමණයක්! ආක්‍රමණයක්! කියා බෙරිහන් දුන් අතර ඔහු ත්‍රස්තවිරෝධී සහ කඩාකප්පල්කාරි කොටස් පිළිබඳ පනත යටතේ බන්ධනාරගත  කැරිණි. කවුරැන් විසින් කිනම් බන්ධනාගාරයේ ඔහු සිරකර තිබෙනවාදැයි කිසිම ආරංචියක් නැත. ආක්‍රමනය කියන පදය ඇත්තෙන්ම ජාතියට වහ කදුරැ වාගේය. නිදහසු සටනේ වීරයකු වූ අවුරැදු 106 වයසැති ගෝපික්‍රිෂ්ණබාබු මේසේ කියන්නට පටන්ගති. මොනව, ආයෙමත් සුද්දො ඉන්දියාව ආක්‍රමනය කරන්ඩද ලෑස්ති වෙන්නෙ? මුඏ මහත් රටේම ඉන්නා, යටත් පිරිසෙයින් එක් තනි ප්‍රන්ත භාෂාවක්වත් නොදන්නා , ඉන්දීය බුද්ධිමතුන් වැඩි ප්‍රසිද්ධියක් නැතිවම අග නුවරට රැස්ව සම්මන්ත්‍රනයක් පවත්වා පහත පළවන බුද්ධිමත් තීරණ වලට එළැඹ අන්තිමේදී කාටත් ඒවා දැන ගැනීමට සැලැස්වූහ. සංස්කෟතික ආකුමනය සංස්කෟතික විප්ලවයට වඩා භයානකය අනතුරැ දායකය. එබැවින් එම ආක්‍රමනය නවතාලීම සඳහා ඉන්දියාව දැන් කරමින් සිටින්නේ ඇය විසින් කළ යුතු දෙයයි. දැන් රැසියාවක් ඇත්තේ නැත. මාක්ස්, ලෙනින්, මාඕ, සෙඩොන්ග් සාර්ථකව නැත. එබැවින් මේ ඇතිවී තිබෙන ස්වාභාවික හිස්තැන හොරෙන් ගෙන්වන කැසට් පට වලින් පිරවිය යුතුය. ඒ අර්ථයෙන් ගත්කල, හැට්ටෙ ඇතුළේ හෙවත් චෝලි කේ පිච්හේ මේ අවස්ථාවේ පහළ වු දිව ඔසුවකි. ඉදින් මේ සියලු කාර්යකටයුතු අවසානයේ ෂයිලිගේ අම්මා රෙදි කෑල්ලක් අරගෙන ඇගේ බක්කි තන දෙක වටා දවටා ගනී. ජීවිතේට මං බ්ලව්සියක්වත් ඇඳලා නෑ.  ඉතිං කොහොමද දැන් හැට්ට අඳින්නෙ! මුඏ මහත් ජාතියම මෙයාකාරයෙන් මේ සංකල්පය සමඟ ඔටිටු වෙමින් සිටි නිසා උපින්ගේ ප්‍රවෘතියට පුවත්පත් වල ලැබුනේ අඟල් එකහමාරේ ඉඩ පදාසයක් පමණි. ඒ ප්‍රවෘත්තිය මුලු මහත් ජාතියේම කණින් රිංගා ගියේය.

ප/ලි
ඉහත දැක්වෙන්නේ මහස්වෙතා දේවී නම් සුප්රකට ඉන්දීය ලේඛිකාව විසින් රචිත චෝලි කේ පිච්හේ නම් දීර්ඝ කෙටි  කථාවේ රංජිත් පෙරේරා විසින් පරිවර්ථනය කර විභවි ප්‍රකාශකයන් විසින් පලකර ඇති රැදාලිය නම් කෙටි කථා සංග්‍රහයේ ඇති හැට්ටය ඇතුලේ නම් කෙටි කථාවේ මුල් පරිච්ඡේදයයි.
මා විසින් කිහිප වරක්ම කියවීමෙන් ආස්වාදය ලද මෙම කෙටි කථා සංග්‍රහය ඔබගේ අවධානයට ලක් කිරිම උදෙසා මෙසේ උපුටා දැක්වීමට සිතුවෙමි. හැකිනම් සොයාගෙන කියවන්න.

21 February, 2012

සුරාවෙයි නුරාවෙයි අලකලංචි


ඔය සුරාවයි නුරාවයි දෙකම එක ලඟින් යන දේවල්.

දෙකෙන්ම මත් වෙනව වගේම ඇබ්බැහි උනොත් බේරිලා හමාරයි. ඒ වගේම හුඟ දෙනෙකුට සුරාව ලඟට නුරාවත් ඕන වෙනව.

අර ඔමාර් ඛයියාම් කියන කවියත් ඔය ගැන ලියල තියෙනවනේ.

ඊයේ ගෙවී ගොසිනි
හෙට උදාවී නැත
සුරාවද නුරාවද සමග හිඳ
නොම තැවී ගෙවමු අපි ජීවිතය.

මේ කියන්න යන්නෙ සුරාවයි නුරාවයි හින්ද වෙච්ච ඇබැද්දියක්.

රෝයි කියන්නෙ අපේ ඔපීසියෙ සුඏ වැඩ කරන වයස 55 විතර වෙන ටිකක් වැඩිපුර කථා කරන්න කැමති  මනුස්සයෙක්. දරැ පවුල් කාරයෙක්. මිනිහත් ඔමාර් කියපු විදියට ජීවත් වෙන කෙනෙක්.

ඊයෙ පෙරේද දවසක උදේ රෝයි වැඩට ආවෙ අත බැන්ඩේජ් කරගෙන.  ඇහුවහම කිව්වෙ ලිස්සල වැටුන කියල. ඒත් මිනිහ කියාපු තාලෙ මට ඇල්ලුවෙ නෑ. පස්සෙ ලන්ච් අවර් එකේදි මිනිහව අල්ලගෙන ඇහුව මොකද උනේ කියල.

හරි වැඩක්නෙ උනේ. දැන් සුමානෙකට ඉස්සර වෙලා ගෙදර හීටර් එක පිච්චිලා. ගෙදර එක්කෙනා හැමදාම කියනව අලුත් එකක් ගේන්න කියල. අතේ සල්ලි තිබුනෙත් නෑ. මතක් උනෙත් නෑ. ඊයෙ එයා සල්ලිත් දීලම කිව්ව අද කොහොම හරි අරන් එන්න කියල

වැඩ ඇරිල යනකොට බාර් එක දැක්කහම මට ඒක පහුකරල යන්න බැරි උනා. ගෙදර එක්කෙනා දීපු සල්ලි විලින් කාලක් බීල හුරැල්ලෙකුත් කාල මම ගෙදර ගියා

ඉතිං ගෙදර ගිහින් නෝනගෙන් ගුටි කෑව මම හිතුවෙ එහෙම.

නෑ එයා එහෙම නෑ. ටිකක් බැන්න විතරයි

එහෙනන් මම ඇහැව්වෙ මිනිහ කථාවට ටිකක් අදි මදි කරපු නිසයි.

රෑට කෑවත් බීපු අරක්කුවල මත අඩු උනේත් නෑ. තනි ඇඳේ නින්ද යන්නෙත් නෑ. දරැවන්ට නින්ද යන්න ඇරල හීන්සැරේ ගියා නෝනගෙ කාමරේට. එයා හොඳට නිදි. මම එයා ලඟින්ම ඇඳ අයිනෙන් ඇල උනා.  චුටිටක් ආදරේ කරන්න හැදුව විතරයි. ගෑනි කෑ ගහගෙන නැගිට්ට සද්දෙට මම විසිවෙලා ගිහින් බිම වැටුනෙ නතෑ

ඕක විතරක් තිබුනම ඇති. වෙන මුකූත්ම ඕන නෑ


ප/ලි
සුරාවෙයි, නුරාවෙයි අලකලංචිවල ඔරිජිල් කථාව මේක නෙමේ. ඒ මටම මමම මඩ ගහගන්නකොට ටිකක් හිතල බලල තමයි ලියන්න වෙන්නෙ.



03 February, 2012

ගාල්ලෙ පච ගහ


මම මුලින් මේ බ්ලොග් එකට නම දන්න හිටියෙ පච ගහ යට කියල. පස්සෙ හිතුන අඹ ගස් ලඟ පච ගස් තියන්න හොඳ නෑ කියල.

අපි හිච්චි එවුන් කාලෙ අපේ සීය සතියකට දෙකකට වතාවක් දුසිමක් විතර වන පුත්තුන්ගෙ , දුවරැන්ගෙ ගෙවල් දොරවල් බලාකියා ගෙන දරැවන්ගෙ ආදර සත්කාර විඳල, දුසින් තුනක් විතර වෙන  මුනපුරැ, මිනිපිරියන් හුරතල් කරල හිච්චි දුවලගෙ ගෙදර එන්නෙ ගාලු හංදියෙ
මාර්කට්ටුවෙන් ගත්තු අඩුම කුඩුම පිරිවැස්සකුත් උස්සගෙන.

වියන්න ගන්නව වගේ පොල් අත්තෙ දාරෙ බේරෙන්න ඉරල , නාරටිය වටයක් වෙන්න රවුම් කරල ,වියල , පතුල එකතු කරල ගැට ගහල, කොක්කුත් දාල හදපු පිරිවැස්සෙ උඩින්ම තියෙන්නෙ රතුම රතුපාට බූන්දි ගොට්ටක්. අයිය මලෝ ටික බූන්දි බෙදාගන්න රංඩුවෙන නිසා සීයම බූන්දි ටික බෙදා දීල මුනපුරාල කන අතරෙ රස වැඩිවෙන්න කථාවකුත් කියනව. මේකත් සීය කියාපු බූන්දි කථාවක් .

කොහොමටත් ගාල්ලෙ ගස්වලින් අඩුවක් නෑනෙ. පූල් ගහ හංදිය, බෙලිගහ හංදිය, තනිපොල් ගහ හංදිය පහුකරගෙන ගියාම තමයි මේ පච ගහ තිබිල තියෙන්නෙ. හරියටම කියනවනම් දැන් ඔය පොලිස් අධිකාරී කාර්්‍යාලය හදල තියෙන්නෙ පච ගහ උඩ තමයි. මේ අවුරැදු සීයක් විතර පරන කථාවක්.

ඒ කාලෙ ගාල්ල ඔය දැන් වගේ නොවෙයිලු. තැනින් තැන කඩ බක්කි කීපයක් තිබුන කඩ මංඩියක්ලු. දැන් ඔය තැපැල් කාර්්‍යාලය තියෙන තැන තමයි පොළ තිබිල තියෙන්නෙ. ඉතිං ඔය කිට්ටුව පහත  ඉන්න මිනිස්සු තමන්ට ඕන බඩු මුට්ටු ගන්න කඩ පිල්වල ,පොලේ එහෙම ඇවිදල  අඩුම කුඩුම කාරිය අරගෙන අන්තිමට එන්නෙ පච ගහ යටටලු.

ඉතිං මේ මිනිස්සු මුලින්ම කරන්නෙ පච ගහ ලඟ තියෙන සියදෝරිස්ගෙ කඩේට ගිහින් තුට්ටුවක් දීල හොඳට ඉඟුරැ එහෙම දාල තියෙන කහට කෝප්පයක් හකුරැ කෑල්ලක් එක්ක බොන එක. නිකංම නෙවෙයි. මේ කඩේ ලඟම ඉඳගෙන සුදු වේට්ටියක් ඇඳගෙන කවි කියන කවිකොල කාරයගෙ කවියකුත් අහගෙනම තමයි කහට එක බොන්නෙ.

ඉන්නල බතල වැල් අල රට කොඩෙල අල
වැල ගැන හොයමු මොකටද මායිමේ ගල
ඔලමොල මොට්ටකම් සුලමුල හොයන කල
අහුඋනෙ හොරාදැයි උගෙ අම්මාද බල

ඉතිං කවියට රහ වැටුනු මිනිස්සු හැඹිලියෙ හංඟගෙන හිටිය තවත් සතයක් දීල කවි කොලේකුත් ගන්නවලු.

ඊලඟට ඉන්නෙ තෙල් බෙහෙත් කාරය. මිනිහ මාකටින් කරන්නෙ කටින් විතරක් නෙවෙයි. සුදට සුදේ දිලිසෙන මිනී ඔලුවකුයි ඇට කටු ගොඩකුයි බිම එලපු පැදුරෙ එක පැත්තක. අනික් පැත්තෙ ලොකු කාඩ්බෝඩ් එකක ඇඳපු මිනිස් ශරීරෙක රෑප සටහනක්. ඉස්සරහින්ම තියෙන්නෙ එක එක ජාතියෙ බෝතල්,කුප්පි වල දාපු තෙල් බෙහෙත්.

වාතය,පිත, සෙම, කොන්දෙ අමාරැ,දන හිසේ අමාරැ, හිස රැදාව, බඩේ ගාය, සතා සරැපය කෑමට මේ හැම දේකටම ඖෂධේ මෙතන තියෙනව. පුරාන සෘෂිවරැන් හිමාල වනයෙ ඖෂධ එකතු කරල අනෝතත් විලේ ජලයෙන්, කස්තුරි යොදල හදපු මේ මාහැඟි ඖෂධය අමුර්තය වගේ ඔබගේ සියලු රෝගාබාධ , දුක් වේදනා දුරැකරන හැම ගෙදරකම තිබිය යුතු ඖෂධයක්. කුප්පියක් සත දෙකයි

අත් ලෙලවමින් ,කට ඇද කරමින් කරන මේ තෙල් බෙහෙත් කරයගෙ කථාව ඉවරවෙන කොට හැමෝම මේ තෙල් බෙහෙත් බෝතලයක් අරගන්නව. හැම කෙනෙකුටම ඔය කියන අමාරැවලින් හැදෙන්න පුලුවන් වගේම දැන් වගේ හන්දියක් හංදියක් ගානෙ චැනල් සෙන්ටරැත් ඒ කාලෙ තිබුනෙ නැහැනේ.

ඊලඟට ඉන්නෙ සාත්තර කාරය. ධන යෝග, ග්‍රහ අපල, හදි හූනියම් ගැන දැන ගන්න ඕන අය එතනට ඇදෙනව. නයි නටවන්නො, රිලා නටවන්නො , පිනුම් කාරයො කලින් කලට මෙතනට එකතු වෙනවලු.

ඔන්න ඕක තමයිලු මේ ගාල්ලෙ පච ගහ ගැන විස්තරේ. ඇත්තටම මේ පච ගහ හොඳට අතුපතර විහිදිච්ච රෑස්ස අඹ ගහක්ලු. ඔන්න ඔය වැඩ කාරයො හින්ද තමයි මිනිස්සු මේ ගහට පච ගහ කියල නම දාල තියෙන්නෙ.

තවත් දෙයක් කියන්න ඕන. සිංහල භාෂාවෙ පචය කියන්නෙ උපහාසාත්මක යෙදුමක් මිසක් අපහාසාත්මක යෙදුමක් නෙමේ. රෑපවාහිනී, ගුවන්විදුලිය, අන්තර්ජාලය,පත්තර නොතිබුනු කාලෙ  හැම දෙයක්ම කතන්දරයක් වුනු කාලෙ ආරලු බූරලු දාල  අතින් කටින් එකතුකරල අධියථාර්ථවාදය, මැජික්යථාර්ථවාදය වගේ දේවල් වලින් හැඩ කර නොගත්තොත් ඒ කතන්දරේ කිසි රසයක් නැති බව මිනිස්සු දැන හිටිය. ඉතිං මේ වගේ කතක්දර කියන අයට තමයි පචයො කිව්වෙ නරක අදහසකින් හෙම නෙමේ.