06 April, 2012

පිස්සු හැදිච්ච මංත්‍රීතුමා



ආ මංත්‍රීතුමා බෑරක්ද මේ
අපේ මාම, කඩේ ලඟින් යමින් හිටපු මංත්‍රීතුමා දැකල එහෙම ඇහුවෙ පාර ලඟට එන ගමන්.
නාගන්න යනව මුදලාලි
මංත්‍රීතුමා අතේ තිබුනු බාල්දිය බිමින් තියල පේර ගහයට තිබුන ලෑලි බංකුවෙ හරිබරි ගැහිල ඉඳගත්ත.
මොකද මංත්‍රීතුමා පහුගිය ටිකේ දකින්න හිටියෙ නැත්තෙ
පහුගිය ටිකේම පාර්ලිමේන්තුවෙ රැස්වීම්. අද තමයි ටිකක් විවේකයක් ලැබුනෙමංත්‍රීතුමා කියන්නෙ කරේ තියෙන තුවායෙන් කෙස්ගස් දෙක තුනක් පමනක් ඉතිරි වෙච්ච තමන්ගෙ තට්ට හිස පිහදා ගනිම්න්.
ඒක නෙවේ මංත්‍රීතුමා. බලන්නකො මේ පාර. කවදාවත් හැදෙන්නෙනම් නෑ. මංත්‍රීතුමාවත් පොඩ්ඩක් කියල බලන්නකො
ච.. මම ගිය සුමානෙත්  සෙකට්‍රිට කථා කරල කීවනේ. මේ යක්කුන්ගෙන් වැඩක් කර ගන්න එක ඉබ්බගෙන් පිහාටු ගන්නව වගේ. ඉන්නව මම කථාකරල දෙකක් කියන්න
මූන පුම්බගෙන, දත්කූරැ කාගෙන, කේන්තියෙන් අඩි පොළවෙ හප්පන මංත්‍රීතුමා ඊ ලගට යන්නනෙ ලගම තියෙන ටෙලිෆෝන් කනුව ගාවට. එක අතක් ටෙලිෆා්න් කනුවට තියල අනිත් අත රිසීවරය වගේ කන ලගට  තියල කථා කරන්න ගන්නව.
‘Hello. MP wijethuga here’
ඊ ලගට මේ මනුස්සය දෙන්න ගන්නෙ සුද්ද ඉංගිරිසියෙන්. Bloody fool, go to hell වගේ කෑලි ටිකක් විතරයි අපි වගේ පොඩිවුන්ට තේරෙන්නෙ.

 මේ මනුස්සයනම් ඇත්තටම මානසික රෝගියෙක්. හැබැයි තිබුන එකම පිස්සුව තමන් මංත්‍රීවරයෙක් හැටියට හිතාගෙන හිටිය එක. වයස 60 විතර වෙන්න ඕන . හොඳ වැඩුනු ශරීරයක් තිබුන.  සරම කලිසම මොකක් ඇන්දත් හොද පිරිසිදුව හිටිය.

මිනිහගෙ පිස්සුව වැඩිවෙන්නෙ ඡන්දෙ කා‍ලෙට. ලනු කෑල්ලක් මල් මාලයක් වගේ බෙල්ලට දාල මයික් එකක් වගේ ලී කෑල්ලක් අතට දුන්නහම පැය ගානක් උනත් එක දිගටම කථා කරනව. පුරැද්දට වගේ Dear friends කියල ඉංග්‍රීසියෙන් තමයි පටන්ගන්නෙ.මංත්‍රීතුමා
සිංහලෙන්,සිංහලෙන් කියල කෑ ගහපුවහම ඔන්න සිංහලෙන් කථාව පටන් ගන්නව. අන්තිමට දෙමලෙනුත් ටිකක් කථාකරල තමයි නවත්වන්නෙ.

ගමේ මිනිසුසු කිව්වෙ උගත්කම වැඩිවෙලා හැදුනු පිස්සුවක් කියල. සිංහල,ඉංග්‍රීසි ‍,දෙමල භාෂා තුනම හොඳට පුලුවන්. කාලයක් පැවිදිවෙලා හිටිය කියලත් කියනව. හැබැයි කාගෙ කවුද කියලනම් කිසි කෙනෙක් දන්නෙ නෑ. සංදරවල හංදියෙ පල්ලියෙ ගෙදර තමයි නවාතැන් පොළ.  ඔය පිස්සුව ඇරැනම වෙන කිසිම කරදරයක් මේ මනුස්සයගෙන් තිබුනෙ නෑ.

ඒ උනාට  කොල්ලො කුරැට්ටො නම් මේ මනුස්සයට පේන්න බෑ. මොනව හරි කියල මේ මනුස්සය  අවුසසනවට වඩා දෙයක් කොල්ලන්ට නෑ.

එදා ඉස්කෝලෙ නිවාඩු දවසක්. හවස් වෙනකල්ම කොල්ලො ටික පිට්ටනියෙ සෙල්ලම් කරල , මඩමෙ(කෙන්වන්ට් එකේ) වත්තට පැනල කුරැම්බත් කඩන් බීල පල්ලම් බහිනකොට තමයි දැක්කෙ මංත්‍රීතුමා නාගෙන එනව වත්තෙ ලිඳ දිහාවෙ ඉඳන්.
හේයි හීරලුව
පොල්කුඩු කඩල නාගත්තද. දෙහි ලේල්ලක් දෙන්නද
හොර මංත්‍රී
හු...හුඋඋඋඋඋඋ
කොල්ලො තර‍ඟෙට කෑ ගහන්න පටන් ගත්තෙ  අවට තිබුනු තේ පඳුරැවලට මුවා වෙලා. නැවතිලා වටපිට බලාපු මංත්‍රීතුමා කොල්ලො පේන්න නොහිටියත් සුපුරැදු ප්‍රථිප්‍රහාරය පටන්ගත්ත.
වේසිගෙ පුත්තු. තොපේ අම්මලට හූ කියාපිය අවලන් බල්ලො
කොල්ලොත් හැංගිලා ඉඳන් හූ කියනව.  මේ අතර හැංගිලා හිටපු එකෙක් හූ කියන්න ඔලුව උස්සල බලද්දි මන්ත්‍රීතුමා දැක්ක කොල්ලෙ හිටපු ඉසව්ව. අතේ තිබුනු බාල්දිය බිමින් තියාපු මේ මනුස්සය අත් දෙකට ගල්ගෙඩි දෙකක් අරගෙන එලවන්න ගත්ත නේද අපේ පස්සෙන්. මොනව කරන්නද  අපිත් හූ කියන ගමන්න්ම දුවන්න ගත්ත පන කඩාගෙන.
 දැන් ඔහොම හිටපිය වල් බල්ලෙ කිය කියා මිනිහ අපේ පස්සෙන් එනව. අපිත් දුවනව. ඒත් වැඩි දුර දුවන්න ලැබුනෙ නෑ. අපට ඇහෙනව බල්ලෙක් බුරන සද්දයක්. කෝකටත් කියල අපිත් හැරිල බැලුව.
 දෙයියනේ බල්ලෙක් නෙවේ බලු රෑනක්ම මංත්‍රීතුමා පස්සෙන් පන්නනව. අතේ තිබුනු ගල් වලින් පහර දෙම්න්ම මංත්‍රීතුමත් පන කඩාගෙන දුවනව. ගල්වලින් ගැහුවට උන්ට ගානක් නෑ. මාරයො ටිකක් වගේ දත් විලිස්සගෙන බුර බුරා පන්නනව. 
 දැන් කොල්ලන්ටනම් මේක කියන්න බැරි තරම් විනෝදයක්. හූ කියනව ,කෑ ගහනව ඒක විකාරයි. ඒත් වැඩි වෙලාවක් ගියේ නෑ අපට මේක සෙල්ලමක් නොවන බව තේරැම් යන්න.
 පන බේරගන්න දුවපු මේ මහලු මනුස්සයට තව වැඩි දුරක් මේ මෘගයින් සමග දුවන්න බැරි බව තේරෙන්න ඇති. වතුයායෙ ගුරැ පාරෙන් වෙල්යාය දෙසට තිබුනු ඇල වේල්ල දිහාට හැරැනු ඔහු ඒ දිගේ දුවන්න උනා.  බලු රෑනත් අත අරින්නෙම  නෑ. වැඩි වෙලා ගියේ නෑ. කකුල ලෙස්සල ගියපු මංත්‍රීතුමා වේල්ලෙන් කුඹුරට ඇද වැටෙනවත් බුරෑන බුරා හැ‍ෙලමින් ඔහු මතට කඩා පැන්නෙත් එකම මොහොතක.
 මේ වෙනකොට කොල්ලොන්ට තමන්ගෙ වැඩේ බැරෑරැම් බව හොඳට තේරිලයි තිබුනෙ. නඩේ නායකය වෙච්ච නිමල් අයිය වරෙල්ල යන්න කියල වැට ඉන්නක් අතට අරගෙන බලු රෑන දිහාවට දුවන්න ගනිද්දි අපිත් අතට අහුවුනු ගල් පොලු අතට අරගෙන ඔහු පස්සෙන් වැටුන.
 කෑගහගෙන කඩා පාත්උන මේ කොලු රෑන දැකපු බලු රෑන ටිකක් පසු බෑවත් ගල් පාරවල් පොලු පාරවල් දීල තමයි එලව ගන්න පුලුවන් උනේ. 
 ඒත් එතකොට මංත්‍රීතුමා හිටියෙ ලේ පෙරාගෙන. ඔලුව, අතපය හැම තැනින්ම ලේ ගලනව විතරක් නෙවේ වෙලේ තිබුනු මඩ වල්නුත් නෑවිලා. වවු..වවු.. ගානව මිසක් කථා කර ගන්නවක් බෑ.   අපටත් මොනව කරන්නද කියල හිතාගන්න බෑ.
 පලයන් දුවල ගිහිල්ල කරැනෙ අයියලට කියාපිය නිමල් අයිය අපි දිහාට හැරිල කෑ ගැහුවෙ මංත්‍රීතුමා වෙලෙන් උස්සල ගන්න ගමන්මයි. හොඳටම බයවෙලා හිටපු අපි කීප දෙනෙකුත් කරැනෙ අයියගෙ කඩේ දිහාවට දුවන්න ගත්ත.

කොහොම උනත් කරැනෙ අයියල ඇවිත් මේ මනුස්සය වාහනේක දාගෙන බද්දේගම ඉස්පිරිතාලෙට ගෙනිච්ච. අපේ විහිලුව නිසා මේ දේ උන බව එදා කවුරැවත් නොදැන ගත්තත් දවස් කීපයකට පස්සෙ මේක දැනගත්තු ගෙදර අය මාසයක් විතර යනතුරැ සෙල්ලම් කරන්න පිට්ටනියට පලාතටවත්යන්න ඉඩ දුන්නෙ නෑ. ආරංචි උන හැටියටනම් මැහුම් හිටන් දාන්න වෙච්ච මංත්‍රීතුමාට බාර කාරයො නොහිටි නිසා හොද වෙච්ච හැටියෙම පොලීසියෙන් මානසික රෝහලට බාරදීල තිබුන.

 කවුරැ එකක් විහිළු කරත් සීමාවක් තියෙන්න ඕනෑ බව අපි එදා ඉගෙන ගත්ත.


31 March, 2012

ස්ත්‍රීන් සහ පුරැෂයින් පොදු දේපල බවට පත් උනොත්



හුඟ දවසකින් බ්ලොග් එකට ගොඩවෙන්න බැරිඋනානෙ.

මේ බ්ලොග් ලියන එකත් හරියට දීගකනව වගේ වැඩක්. එක දිගට කරගෙන යන ඒකත් ලේසි නෑ. නතරකරල දාන්නත් බෑ. (සාර්ථක බ්ලොග් කරැවන් සාර්ථක පවුල් ජීවිත ගතකරන්නන් බවත් අසාර්ථක බ්ලොග් කරැවන් අසාර්ථක පවුල් ජීවිත ගතකරන්න් බවත් මෙයින් තහවුරැ වෙනවාද?)

මම අද ලියන්න ආවෙ වෙනින් කථාවක්. ඒත් දීගකෑම ගැන මතක් උන එකේ දීගකෑම ගැනම ලියනව කියල හිතුව. අනික පොඩ්ඩිගෙ පිබිදීමෙන් පස්සෙ මාතලන්ල,පොඩිමෑන්ල එක දිගටම පිබිදුනානෙ. පොඩි මෑන් නම් අදත් පිබිදිලා හිටියෙ.  අනික රැල්ල ගහන අතට බෝට්ටුව දියත් කලාම ගොඩ යන්නත් ලේසියි.

දීගකෑම එහෙම නැත්නම් විවාහය මේ වචන වලටත් වඩා පරනයිනේ. මනුෂ්‍යයා භාෂාවක් හදාගෙන මේවට වචන හදාගන්නත් ඉස්සර ඉඳලම දීගකෑම සිද්ධඋනා විතරක් නෙමේ මනුෂ්‍යයා පහල වෙන්නත් ඉස්සර ඉඳලම දීගකෑම සිද්ද විය යුතුයිනේ. මේවගේ දීගෙ ඉතිහාසය ඉතා දිග උනාට දීග කාපු ක්‍රමේනම් එක එක කාලවල එක එක ක්‍රමේට සිද්ධ උන බවයි කියවෙන්නෙ.

මිනිස්සු බිහිවෙච්ච මුල්ම කාලෙ තිබුනෙ පොදු දේපල ක්‍රමයක් කියලනේ ඉතිහාසඥයො  කියන්නෙ. පිරිමි දඩයමේ ගිහින්,ගෑනු පලවැල නෙලාගෙන ඇවිත් හවසට ගුහාවට එකතුවෙලා ගෝත්‍රයෙ හැම දෙනාම බෙදා හදාගෙන කනව. ඒ වගේම ගෑනු ,මිනිස්සුත් පොදු දේපල. අයිති කාරයො නෑ. අහවලාගේ ඇ‍ඟේ තව කෙනෙක් ගෑවුනා කියල තව කෙනෙකුට ඉරිසියා හිතෙන්නෙත් නෑ. දරැවො අම්මගෙ. සමහර විට තාත්ත කවුද කියන්නවත් දන් නැතුව ඇති.

හැබැයි මේ මාතෘ මූලික සමාජෙ ලොක්කො ගෑනු. පිරිමි දඩයම් කරගෙන එන වැඩ කාරයො විතරයිලු. තවමත් මේ වගේ ගෝත්‍රික සමාජ අප්‍රිකාවෙ තියෙන බව කියනව. ලංකාවෙත් කුවේනිගෙ කාලෙ තිබුනෙ මේවගේ ගෝත්‍රක සමාජයක් බව සමහරැ කියනව. ඔය පත්තිනි දේවිය කියන්නෙත් ඒ කාලෙ ගෝත්‍රික නායිකාවක් කියනවනේ.

ඔන්න ඊට පස්සෙ තමයි පුද්ගලික දේපල ක්‍රමය පටන් ගත්තෙ. පුරැෂාධිපත්‍යය ඇති උනෙත් මේ කාලෙමයි .සත්තු ඇති කරන්න, වගා කරන්න පටන් ගෙන , ගෙවල් දොරවල් හදා ගෙන , තමන් හම්බකරගත්තු දේ උරැමකර දෙන්න දරැවො ඕන උනා. ඉතිං දරැවො හදන්න තමන්ටම භාර්්‍යයාවක් ඕන උනා. ඒක භාර්්‍යයා වෘතය පටන් ගත්තෙ මෙහෙමයි. මුල්ම කාලෙනම්
ප්‍රධාන භාර්්‍යයාවට අමතර අය ඉන්නඇති.(රන්දොලි,රිදී දොලි, යකඩ දොලි වගේ)

දැන් මට කියන්න ඕන දේ මේකයි.

ඇත්තටම අර මාතෘ මූලික සමාජෙදි වගේ පොදු දේපල ක්‍රමයක් තියෙන එක නරකද?

ප/ලි
සමහරැ චී..ය කියල කියන්නත් පුලුවන්. ඒත් අක්ක නගෝ එක ගෙයි කාපු උඩරට, සහෝදර සහෝදරියො විවාහ උන පාරාවො රජවරැ චීය කියල කිව් බවක්නම් දැනගන්න නෑ.

අනික අනාගතයෙ මෙහෙම සමාජයක් ඇතිවෙන්නත් පුලුවන්. දැනටමත් බටහිර රටවල පුරැෂයන් නැතුව දරැවන් හදාගන්නා මාතෘ මූලික පවුල් ගොඩක් ඉන්නව. පිරිම්න්ට වගේම කාන්තාවන්ටත් දේපල උපයා ගැනීමට අවස්ථාවක් ලැබීමත්, වඩා හොඳ ජාන විවිධත්වයක් අනාගක පරපුරට උරැම කිරීමට ඉඩ ලැබීමත් නිසා මෙයට හොඳ අවස්ථාවක් තියෙනව.     

07 March, 2012

Poya Special- දානය හා වසවර්ති මාරයා


අද පෝය දවසනේ. කොයි අතකට හැරැනත් ඇහෙන්නෙ පේන්නෙ සසර කලකිරෙන දේවල්. ඉතිං බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩුනු ආයුබෝවන්ඩත් හිතුව බොදුනු කථාවක් ලියන්න.





මේක මේ ආයුබෝවන්ඩගෙ සීයගෙ තුන්මහේ දානෙ දවසෙ වෙච්ච දෙයක්.
මේකට සම්බන්ද වෙන විරාජ් මලය කියන්නෙ කලින් කියපු “ජේ.ආර්., රජීව් හක්කේ තබා සෙම ඇරිය හැටි කථාවෙ අපේ පොඩි මාමගෙ පුතා.  කෙසෙල් කොලයක් ඉරෙන්න හුජ්ජ කරන්න බැරි වයසෙ හිටියට හරි පන්ඩිතය.


හාමුදුරැවරැ ගෙදරට වඩම්මවගෙන දානයක් දෙනව කියන්නෙ හරි ජරමර වැඩක්නෙ. මුලින්ම හාමුදුරැවන්ගෙන් දිනයක් ගන්න ඕන. තුන්මහේ දානයක් හින්ද  මරනෙ දවසෙම දවස බුක් කර ගත්ත නිසා  ඒකනම් අවුලක් උනේ නෑ. ඊලඟට එවනව මේනු එක. ඕඩර් කරන හාමුදුරැවරැ ගණන අනුව ට්‍රන්ස්පෝට් සප්ලයි කරන්න ඕන. ඔවුන් ට්‍රන්සපෝට් තියෙන අයට ෆුවෙල් අලවන්ස් ගෙවන්න ඕන. ඔය වගේ එක එක වැඩ කෝටියයි.


කොහොම කොහොම හරි මේ සේරම කරල හාමුදුරැ‍වරැත් දානෙට වැඩිය කියමුකො. මුලින්ම ධාතු කරඬුව වැඩම කරල ඉස්සරහින්ම තිබ්බ. ඊලඟට  සෙරෙප්පු සපත්තු ගලවල, පා දෝවනය කරල පාවඩ දාල හාමුදුරැවරැ වඩම්මවාගෙන ගිහිල්ල  අසුන් ගන්වල, බුද්ද පූජාව තියල,පන්සිල් දීල , දානය සාංඝික කරල ,හාමුදුරැවරැ දානෙ හෙම වළඳල , පිරිකර එහෙම පිලිඅරගෙන ඊ ලඟට පටන් ගත්ත අනුසාසනාව.


මුලින්ම හාමුදුරුවො බුද්ධ පූජාව ගැන විස්තර කෙරැව.
“බූදු හාමුදුරැවො ජීවමානව වැඩ හිඳිනව කියල හිතාගෙන  තමයි පින්වතුනි ධාතු කරඬුවට පූජාව තියන්නෙ.  ධාතු කරඬුව තියල හාමුදුරැවරැන්ට දානය පිලිගන්වල අපි හිතාගන්න  ඕන මේ දානය බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා වේවා කියල. ඒක තමයි පිංවතුනි මේ තුන් ලෝකයෙම තියෙන අග්‍ර දක්ෂිනෙයිය පිංකම”


මේ විදියට දානයෙ තියෙන මහත්පල මහානිශංෂ දේශනාකරපු හාමුදුරැවො බුදු හ‍ාමුදුරැවන්ගෙ ධර්මය ගැනත් විස්තර කරන්න පටන් ගත්ත.


“අපේ ති‍ෙලා්ගුරැ සම්මා සම්බුදු රජානන් වහන්සෙ දේශනා කලා පිංවතුනි  සත්වයෙක් පුද්ගලයෙක් නැති බව.  තියෙන්නෙ ස්කන්ධ පහක් විතරයි.  අපේ තියෙන අවිද්‍යයාව නිසා  මෝඩකම නිසා මේ බව නොතේරෙන බවයි  උන් වහන්සේ දේශනා කලේ”


මෙන්න මේ අනුසාසනාව අහගෙන ඉදල තමයි අර වසවර්ති විරාජ් මලය දානය ඉවර උනාට පස්සෙ ආයුබෝවන්ඩව කථාවට අල්ල ගත්තෙ.


“ඈ ආයුබෝවන්ඩ අයියෙ, දැන් බුදු හාමුදුරැවො කියල තියෙනවනෙ සත්වයෙක්, පුද්ගලයෙක් නෑ. තියෙන්නෙ ස්කන්ධ පහක් විතරයි කියල”


“ඔවු අර හාමුදුරැවො එහෙම කිව්වනෙ”


“ඉතිං අයියෙ අපට ඇහැට පේන්න ඉන්න සත්වය පුද්ගලය ඉන්නව කියල හිතන එක මොඩකමක් නම් අපට පේන්න නැති බුදු හාමුදුරැවො ඉන්නව කියල හිතාගෙන  යකඩ කරඬුවකට වඳින එක  ඊටත් වඩා මොඩ කමක් නේ”


හිරවැටුනු ආයිබෝවන්ඩගෙ ඔලුව ආයි වැඩකරන්න පටන්ගන්නත් ඉස්සර මේ වසවර්තිය ආයෙ කථාව පටන් ගත්ත.


“සාංඝික දානයක් දෙන්න මේ තරම් කරදර උනේ අපරාදෙනේ අයියෙ”


“ ඒ මොකද උඹ එහෙම කියන්නෙ”


“ නෑ ඉතිං කරඬුව බුදු හාමුදුරැවො කියල අපට හිතා ගන්න පුළුවන්නම් මහා සංඝ්‍යයි  කියල හිතල තවත් කරඬු තියල, දානයේ කියල හිතල මොන මොනව හරි පිලිගැන්නුවනම් මේ තරම් ජංජාලයක් කරන්න වෙන්නෙ නෑනේ”


අනේ අම්මප මේ පවුකාර කථාව ඇහුවමනම් ආයුබෝවන්ඩ පොඩ් එකාය කියල බලන්නෙ නැතුව යන අපායකට යන්න කියල දෙකක් අනින්නයි ලෑස්ති උනේ. ඒත් උෘව අල්ල ගන්නනම් ආයුබෝවන්ඩට බැරි උනා. 





29 February, 2012

ආබාධිතයින්ට අපි සලකන හැටි



මේ ඡායාරෑපය ඒ තරම් පැහැදිලි නෑ. 

ඔය පත්තර වලින් වහල තියෙන්නෙ මියගිය මනුස්සය. මැද පෙරලිලා තියෙන්නෙ ඒ මනුස්සය ආපු බයිසිකලේ. ඔය පැත්තක තියෙන්නෙ හප්පපු ට්‍රක් එක.

කඩුවෙල හංදිය මැද්දෙදි අද දවල් අප විසින් ආබාධිතයෙකුට සලකපු හැටි තමයි ඔය.

අපි කියල කිව්වෙ වේගයෙන් යන්න හදන අපි හැමෝටම වට පිට හුඟක් දේවල් නොපෙනෙන නිසායි.


ට්‍රක් රථ රියදුරාට පමනක් වරද පටවා නිහඬවීමට අපට හැකිද?