07 March, 2012

Poya Special- දානය හා වසවර්ති මාරයා


අද පෝය දවසනේ. කොයි අතකට හැරැනත් ඇහෙන්නෙ පේන්නෙ සසර කලකිරෙන දේවල්. ඉතිං බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩුනු ආයුබෝවන්ඩත් හිතුව බොදුනු කථාවක් ලියන්න.





මේක මේ ආයුබෝවන්ඩගෙ සීයගෙ තුන්මහේ දානෙ දවසෙ වෙච්ච දෙයක්.
මේකට සම්බන්ද වෙන විරාජ් මලය කියන්නෙ කලින් කියපු “ජේ.ආර්., රජීව් හක්කේ තබා සෙම ඇරිය හැටි කථාවෙ අපේ පොඩි මාමගෙ පුතා.  කෙසෙල් කොලයක් ඉරෙන්න හුජ්ජ කරන්න බැරි වයසෙ හිටියට හරි පන්ඩිතය.


හාමුදුරැවරැ ගෙදරට වඩම්මවගෙන දානයක් දෙනව කියන්නෙ හරි ජරමර වැඩක්නෙ. මුලින්ම හාමුදුරැවන්ගෙන් දිනයක් ගන්න ඕන. තුන්මහේ දානයක් හින්ද  මරනෙ දවසෙම දවස බුක් කර ගත්ත නිසා  ඒකනම් අවුලක් උනේ නෑ. ඊලඟට එවනව මේනු එක. ඕඩර් කරන හාමුදුරැවරැ ගණන අනුව ට්‍රන්ස්පෝට් සප්ලයි කරන්න ඕන. ඔවුන් ට්‍රන්සපෝට් තියෙන අයට ෆුවෙල් අලවන්ස් ගෙවන්න ඕන. ඔය වගේ එක එක වැඩ කෝටියයි.


කොහොම කොහොම හරි මේ සේරම කරල හාමුදුරැ‍වරැත් දානෙට වැඩිය කියමුකො. මුලින්ම ධාතු කරඬුව වැඩම කරල ඉස්සරහින්ම තිබ්බ. ඊලඟට  සෙරෙප්පු සපත්තු ගලවල, පා දෝවනය කරල පාවඩ දාල හාමුදුරැවරැ වඩම්මවාගෙන ගිහිල්ල  අසුන් ගන්වල, බුද්ද පූජාව තියල,පන්සිල් දීල , දානය සාංඝික කරල ,හාමුදුරැවරැ දානෙ හෙම වළඳල , පිරිකර එහෙම පිලිඅරගෙන ඊ ලඟට පටන් ගත්ත අනුසාසනාව.


මුලින්ම හාමුදුරුවො බුද්ධ පූජාව ගැන විස්තර කෙරැව.
“බූදු හාමුදුරැවො ජීවමානව වැඩ හිඳිනව කියල හිතාගෙන  තමයි පින්වතුනි ධාතු කරඬුවට පූජාව තියන්නෙ.  ධාතු කරඬුව තියල හාමුදුරැවරැන්ට දානය පිලිගන්වල අපි හිතාගන්න  ඕන මේ දානය බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා වේවා කියල. ඒක තමයි පිංවතුනි මේ තුන් ලෝකයෙම තියෙන අග්‍ර දක්ෂිනෙයිය පිංකම”


මේ විදියට දානයෙ තියෙන මහත්පල මහානිශංෂ දේශනාකරපු හාමුදුරැවො බුදු හ‍ාමුදුරැවන්ගෙ ධර්මය ගැනත් විස්තර කරන්න පටන් ගත්ත.


“අපේ ති‍ෙලා්ගුරැ සම්මා සම්බුදු රජානන් වහන්සෙ දේශනා කලා පිංවතුනි  සත්වයෙක් පුද්ගලයෙක් නැති බව.  තියෙන්නෙ ස්කන්ධ පහක් විතරයි.  අපේ තියෙන අවිද්‍යයාව නිසා  මෝඩකම නිසා මේ බව නොතේරෙන බවයි  උන් වහන්සේ දේශනා කලේ”


මෙන්න මේ අනුසාසනාව අහගෙන ඉදල තමයි අර වසවර්ති විරාජ් මලය දානය ඉවර උනාට පස්සෙ ආයුබෝවන්ඩව කථාවට අල්ල ගත්තෙ.


“ඈ ආයුබෝවන්ඩ අයියෙ, දැන් බුදු හාමුදුරැවො කියල තියෙනවනෙ සත්වයෙක්, පුද්ගලයෙක් නෑ. තියෙන්නෙ ස්කන්ධ පහක් විතරයි කියල”


“ඔවු අර හාමුදුරැවො එහෙම කිව්වනෙ”


“ඉතිං අයියෙ අපට ඇහැට පේන්න ඉන්න සත්වය පුද්ගලය ඉන්නව කියල හිතන එක මොඩකමක් නම් අපට පේන්න නැති බුදු හාමුදුරැවො ඉන්නව කියල හිතාගෙන  යකඩ කරඬුවකට වඳින එක  ඊටත් වඩා මොඩ කමක් නේ”


හිරවැටුනු ආයිබෝවන්ඩගෙ ඔලුව ආයි වැඩකරන්න පටන්ගන්නත් ඉස්සර මේ වසවර්තිය ආයෙ කථාව පටන් ගත්ත.


“සාංඝික දානයක් දෙන්න මේ තරම් කරදර උනේ අපරාදෙනේ අයියෙ”


“ ඒ මොකද උඹ එහෙම කියන්නෙ”


“ නෑ ඉතිං කරඬුව බුදු හාමුදුරැවො කියල අපට හිතා ගන්න පුළුවන්නම් මහා සංඝ්‍යයි  කියල හිතල තවත් කරඬු තියල, දානයේ කියල හිතල මොන මොනව හරි පිලිගැන්නුවනම් මේ තරම් ජංජාලයක් කරන්න වෙන්නෙ නෑනේ”


අනේ අම්මප මේ පවුකාර කථාව ඇහුවමනම් ආයුබෝවන්ඩ පොඩ් එකාය කියල බලන්නෙ නැතුව යන අපායකට යන්න කියල දෙකක් අනින්නයි ලෑස්ති උනේ. ඒත් උෘව අල්ල ගන්නනම් ආයුබෝවන්ඩට බැරි උනා. 





4 comments:

නවම් said...

හෙහ් හෙහ්...... අපූරු කොළුව බං. ඌ හරි ‍රැෂනෙල් එකෙක්නෙ. උන්ට ගහන්න එපා බං. ඕනෙම නං ටොක්කට් ඇන ගනින් උඹ. හෙහ් හෙහ්.

තව කියන්න කාරනා බොහෝමයි. ඒත් මිනිස්සුන්ගෙ විස්වාස ප්‍රසිද්ධියෙ මඬින්න මගෙ නෑ මනාපයක්.

Tharindu Chathuranga said...

අයියෝ ඹ්කත් කජ්ජක්ද බුද්ධ පූජාවටත් විදින කොට

මාතලන් said...

තවම මේක හරි එකෙක් දැකලා නෑ. අපාය සහායක කෙනෙක්. ආශ්‍රය වහාම අත්හිටුවන්න. දැණුම්දීමකින් තොරව.

Sumith Niriella said...

කොල්ල උඹේ නිර්මාණයක් නොවී ඇත්තටම ජීවත්වෙන එකෙක්නම් ඌ හුගක් වටිනවා රටට. එහෙම උන් වැඩිවුනේ නැත්නම් මේ රටේ කණාටු කැන්ද ගහක්වත් හොයාගන්න බැරිවෙනවා අපල පාන්කඩ එල්ලපු නැති.